ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක සරඹ තරගාවලිය කටුනායක ගුවන් හමුදා කඳවුරේ පෙළපාළි භූමියේදී උත්කර්ෂවත් අයුරින් නිමාවට පත්විය
වසර දෙකක විරාමයකින් අනතුරුව පැවැත්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක සරඹ තරගාවලිය - 2026, 2026 නොවැම්බර් මස 06 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේ පෙළපාළි භූමියේදී උත්කර්ෂවත් අයුරින් නිමාවට පත්විය. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සහභාගී විය.

මෙම සරඹ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලුම කඳවුරු  නියෝජනය කරමින් ගුවන් භට හා ගුවන් කාන්තා කණ්ඩායම් 27ක් සහභාගී විය. එහිදී කටුනායක ගුවන් හමුදා කඳවුර සහ අනුරාධපුර ගුවන් හමුදා කඳවුර නියෝජනය කරමින් ගුවන් භට කණ්ඩායම් දෙක බැගින් ද, කටුනායක ගුවන් හමුදා කඳවුර සහ ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල නියෝජනය කරමින් ගුවන් කාන්තා කණ්ඩායම් ද අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූහ.

අවසන් වටයේ තරගවලදී අනුරාධපුර ගුවන් හමුදා කඳවුර නියෝජනය කළ ගුවන් භට කණ්ඩායම, ෆ්ලයින් ඔෆිසර් එල්.ඒ.ඩී.එස්.පී අප්පුහාමි නිලධාරිතුමන්ගේ නායකත්වය යටතේ ගුවන් භට අංශයේ ශූරතාව දිනාගත් අතර, කටුනායක ගුවන් හමුදා කඳවුර නියෝජනය කළ ගුවන් කාන්තා කණ්ඩායම, ෆ්ලයිට්  ලෙෆ්ටිනන් ඊ.ඒ.එන්.එම්. එදිරිසිංහ නිලධාරිතුමියගේ නායකත්වය යටතේ ගුවන් කාන්තා අංශයේ ශූරතාව හිමිකර ගන්නා ලදී. එම ශූරතා කුසලාන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් ජයග්‍රාහී කණ්ඩායම් වෙත පිරිනමන ලදී.

ගුවන් භට අංශයේ දෙවන ස්ථානය ෆ්ලයින් ඔෆිසර් ඒ.පී.සී මනජිත් නිලධාරිතුමන්ගේ නායකත්වයෙන් යුත් කටුනායක ගුවන් හමුදා කඳවුරේ කණ්ඩායම හිමිකර ගත් අතර, ගුවන් කාන්තා අංශයේ දෙවන ස්ථානය ෆ්ලයිට්  ලෙෆ්ටිනන් එච්.එම්.එම්. විතාන නිලධාරිතුමියගේ නායකත්වයෙන් යුත් ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ කණ්ඩායම හිමිකර ගන්නා ලදී.

ගුවන් භට අංශයේ තෙවන ස්ථානය සැරයන් වී.ආර්. ප්‍රනාන්දු මහතාගේ නායකත්වයෙන් යුත් දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ කණ්ඩායම දිනාගත් අතර, ගුවන් කාන්තා අංශයේ තෙවන ස්ථානය ෆ්ලයිට්  ලෙෆ්ටිනන් බී.එන්. පින්නදූව නිලධාරිතුමියගේ නායකත්වයෙන් යුත් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ කණ්ඩායම හිමිකර ගන්නා ලදී.

මෙම අවස්ථාවට සමගාමීව මහනුවර ධර්මරාජ විද්‍යාලයේ පෙරදිග තූර්ය වාදක කණ්ඩායම සහ කොළඹ නාලන්දා විද්‍යාලයේ බටහිර තූර්ය වාදක කණ්ඩායම විසින් විශේෂ තූර්ය වාදන සංදර්ශනයක් ද ඉදිරිපත් කරන ලදී. මෙම විද්‍යාල දෙකෙහිම ශිෂ්‍යභට කණ්ඩායම් මේ වසරේ පැවති අන්තර් පාසල් ශිෂ්‍යභට තරගාවලිවලදී සුවිශේෂී ජයග්‍රහණ අත්කරගෙන තිබීම ද විශේෂත්වයකි.

ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, සංවිධායක කමිටුවේ සභාපති සහ ගුවන් හමුදා භූමි මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් වජිර සේනාධීර මහතා, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, කටුනායක ගුවන් හමුදා කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් අමිත් ජයමහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් මෙන්ම ජයග්‍රාහී පාසල්වල ශිෂ්‍යභටයින්, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි