මාලඹේ ආචාර්ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල ශ්‍රී ලංකා ගුවන් හමුදාව යටතේ යළි විවෘත කරන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මාලඹේ පිහිටි ආචාර්ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල 2026 නොවැම්බර් මස 09 වන දින යළි විවෘත කිරීම සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී විය. එහි පැමිණි එතුමන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සහ ආචාර්ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී එයාර් කොමඩෝර් නීලූකා අබේසේකර මහත්මිය විසින් පිළිගන්නා ලදී.

මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අසිත නිරෝෂණ මහතා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා ද සහභාගී විය. ආචාර්ය නෙවිල් ප්‍රනාන්දු මහතා සිහිපත් කිරීම වෙනුවෙන් එතුමාගේ බිරිඳ වන ස්වර්ණමාලි ප්‍රනාන්දු මහත්මිය සහ පවුලේ අනෙකුත් සාමාජිකයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය නලින්ද ජයතිස්ස මහතා ආරාධිත අමුත්තන් සහ රෝහල් කාර්ය මණ්ඩලය අමතමින් මෙම නව සෞඛ්‍ය පහසුකම පිහිටුවීමේ වැදගත්කම සහ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට එමඟින් ලැබෙන දායකත්වය පිළිබඳව අදහස් දැක්වීය. ඉන් අනතුරුව පැවති රෝහලේ නිරීක්ෂණ චාරිකාවකදී සම්භාවනීය අමුත්තන් විසින් රෝහලේ පවතින පහසුකම් සහ වෛද්‍ය සේවාවන් පිළිබඳව නිරීක්ෂණය කරන ලදී.

ආචාර්ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහලේ කළමනාකරණ සහ පරිපාලන කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පවරා ඇති අතර ඒ අනුව එහි මෙහෙයුම් කළමනාකරණ වගකීම ද ගුවන් හමුදාව යටතට පත්ව ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම, වෘත්තීය ප්‍රමිතීන් සහ පරිපාලන හැකියාවන් උපයෝගී කර ගනිමින් රෝහලේ කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාම සහ සෞඛ්‍ය සේවා විධිමත්ව සැපයීම අපේක්ෂා කරනු ලබයි.

නවීන වෛද්‍ය යටිතල පහසුකම්වලින් සමන්විත මෙම රෝහල මඟින් ගුවන් හමුදා සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පමණක් නොව, සාමාන්‍ය ජනතාවට ද ප්‍රතිලාභ සැලසීමට අපේක්ෂිතය. ඒ තුළින් මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, පහසුවෙන් ප්‍රවේශ විය හැකි ගුණාත්මක වෛද්‍ය ප්‍රතිකාර සේවාවන් සැපයීම සඳහා අමතර අවස්ථාවක් උදා කිරීමටත් හැකි වනු ඇත. මෙම වැඩපිළිවෙළ මඟින් ගුවන් හමුදා සාමාජිකයන්ගේ සුබසාධනය සහ යහපැවැත්ම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව දක්වන අඛණ්ඩ කැපවීම මෙන්ම, වැඩිදියුණු කළ සහ පහසුවෙන් ප්‍රවේශ   විය හැකි වෛද්‍ය සේවාවන් ඔස්සේ ජාතික සෞඛ්‍ය පද්ධතියට සහාය දැක්වීමේ වගකීම ද මැනවින් පිළිබිඹු වේ.

මෙම සුවිශේෂී අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා, හිටපු ගුවන් හමුදාධිපතිවරුන්, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් ඇතුළු පිරිසක් ද සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි