ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර ප්‍රජා සේවා සහ සුබසාධන වැඩසටහන් රැසක් සමඟින් සිය 44 වැනි සංවත්සරය අභිමානවත්ව සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ 44 වැනි සංවත්සර සැමරුම, කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ප්‍රදීප් පියරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ 2026 නොවැම්බර් 09 වැනි දින උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

ජාතික සේවය, කාර්ය මණ්ඩල සුබසාධනය සහ ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් ගුවන් හමුදාව සතු කැපවීම යළි තහවුරු කරමින් මෙවර සංවත්සරයට සමඟාමීව විශේෂ ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා තිබේ. ඒ අනුව කඳවුරු පරිශ්‍රයේ විවාහක ගුවන් භට නිවාස, කඳවුරු විහාරස්ථානය සහ කඳවුරු නාම පුවරුව නවීකරණය කර ඇති අතර, කාන්තා ගුවන් භටයින් සඳහා නව නේවාසික පහසුකම් ඉදිකිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇත.

කඳවුරේ සේවාවන් අවට ප්‍රජාව වෙත ද සමීප කරවීමේ අරමුණින් සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් ද ක්‍රියාත්මක කෙරිණි. උතුරු මැද පළාත් සභාව සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සමඟ එක්ව රුධිර පරිත්‍යාග කිරීමේ  වැඩසටහනක් පවත්වන ලද අතර, අනුරාධපුර කම්මල්කුලම ධර්මාලෝක විද්‍යාලයේදී වෛද්‍ය සහ දන්ත සායනයක් ද සංවිධානය කර තිබුණි. මීට අමතරව ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන් අනුරාධපුර දුම්රිය ස්ථානයේ ගෘහ භාණ්ඩ සහ අනුරාධපුර මූලික රෝහලේ වාට්ටුවක් ප්‍රතිසංස්කරණය කරන ලදී.

සංවත්සර දින සම්ප්‍රදායික 'වැඩ පෙළපාලිය' කඳවුරු අණදෙන නිලධාරීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඉන් අනතුරුව නිලධාරීන්, ගුවන් භටයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ක්‍රිකට් සහ දැල්පන්දු  ක්‍රීඩා තරගාවලියක් ද පැවැත්විණි.

මියගිය රණවිරුවන් සිහිපත් කිරීම සහ කඳවුරට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම වෙනුවෙන් නොවැම්බර් 12 වන දින රාත්‍රියේ සර්වරාත්‍රික පිරිත් දේශනාවක් සහ නොවැම්බර් 13 වන දින උදෑසන සියලු නිලයන්ගේ සහභාගීත්වයෙන් දානමය පිංකමක් පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි